වන අරණක මැද පිහිටි කළු ගලින් නිම කළ බංගලාවක සිට.. මිහිදුමෙන් වැසුණු සීතල පරිසරයක නිහැඬියාව විඳගන්න ඔබත් කැමතිද..එහෙනම් හපුතලේ ඇඩිශම් බංගලාව බලන්න යන්න.
කොළඹ සිට හපුතලේ නගරයට කිලෝමීටර් 186 ක් විතර තියෙනවා...හපුතලේ සිට කිලෝමීටර 4කට ආසන්න දුරකින්, තංගමලේ වනෝද්යානය තුල තමයි ඇඩිශම් බංගලාව පිහිටා තියෙන්නේ. ඔබ මෙය නරඹන්න නම් ගමන් කරන්න ඕනි හපුතලේ - බොරලන්ද මාර්ගයේ..ඒ යනකොට තමයි ඇඩිශම් බංගලාවට යන මාර්ගය හමුවෙන්නේ..
බංගලාව වෙත පිවිසීමට අවසර තියෙන්නේ උදෑසන 9න් පසුව. සවස 4 වන විට නැරඹීම් කාලය අවසන් වනවා. හැබැයි එය නැරඹීමට සති අන්ත දිනවල හෝ රජයේ නිවාඩු දිනවල( මහා සිකුරාදා සහ නත්තල් දින හැර ) පැමිණිය යුතු යි.
මුහුදු මට්ටමේ සිට අඩි 5000කට ආසන්න උසකින් පිහිටි හපුතලේ, තංගමලේ පිහිටි උස් කඳු ගැටයක් මත තරමක් විශාල තැනිතලා භූමියක තමයි මේ බංගලාව ඉදි කරලා තියෙන්නේ..එය අක්කර දහයකට ආසන්න වපසරියකින් යුත් භූමියක්. විශාල වෘක්ෂයන්ගෙන් ගහන වූ වනාන්තරය මැදින් ගමන් කරලා මල් වතු සහ පලතුරු වතු අතරින් පැමිණෙන ඔබට මේ තේජවන්ත මාලිගාව දැකගන්න පුළුවන්..
1929 වසරේ වැඩ ආරම්භ කර 1931දී බංගලාව සාදා නිම කර තිබෙනවා.. තෝමස් ලිස්ටර් විල්යස් නම් ඉංග්රීසි ජාතික වතු කළමනාකරුවෙකු තමයි මේ බංගලාවේ හිමිකරුවා.ඔහු කුඩා කල සිට අසීමිතව ආදරය කල කෙන්ට් ප්රාන්තයෙහි තිබුන ලීඩ්ස් මාලිගාවෙහි අනුරුවක් තමයි මේ විදිහට නිර්මාණය කරලා තියෙන්නේ.ටියුඩෝ සහ ජැකබියන් විලාසිතාවන්ගේ එකතුවෙන් මුළුමනින්ම කළු ගලින් නිම වුවක් ලෙස ඇඩිෂම් බංගලාව හඳුන්වන්න පුළුවන්. බුරුම තේක්ක ලීයෙන් නිමැවුනු වහලය ,උස ජනේල සහ උළුවහු ,පෞරාණික ගෘහ භාණ්ඩ , වගේම එහි ඇති ගෘහ නිර්මාණ ශිල්පය ඔබව මවිතයට පත් කරාවි..1961දී මේ මාලිගාව සිල්වෙස්ත්රෝ -බෙනඩික් නිකායට පැවරෙනවා..එතැන් පටන් එය පූජකයන් පුහුණු කරන ආධුනික තාපසාරාමයක් ලෙස තමයි පවත්වාගෙන එන්නේ..





0 Comments